“කරුණාකරලා, මගේ බල්ලට රිද්දන්න එපා!” ඇය කෑගැසුවාය.
තියුණු නියපොතු ඇගේ අත සූරන විට සහ තවත් අතකින් ඇයගේ පිටෙහි සම සීරී යන විට ඇය නැවතත් කෑගැසුවාය. බළලුන් ඇගේ පිටුපසින් බිම ඇද වැටුනේ ඇටකටු බිඳෙනසුළු ශබ්දයක් සමග වූ අතර ඔවුන් තවමත් එකිනෙකා වෙත ගොරවමින් කෑගසමින් සිටියහ. තමාට අඩි කීපයක් පිටුපසින් සටන් කරන සතුන් දෙස බැලීමට එඩිතර නොවී, මෘදු ලෙස කෙඳිරිගාමින් සහ වෙව්ලමින් සිටි ස්ක්‍රැපීව තම සිරුරින් ආවරණය කරමින් ඇය වකුටුවී සිටියාය.
තබතා තමා සිටි ස්ථානයෙන් සෙලවීමට බිය වූ අතර බල්ලාව හැකි තරම් තදින් අල්ලා ගත්තාය. ඇගේ දෑස් තදින් පියාගෙන සිටිමින් බළලෙකුගෙන් තමාටද හානි සිදුවුවහොත් දුව ගොස් උදව් ලබා ගන්නා ලෙස ස්ක‍්‍රැපීට හිමිහිට කීවාය. ඇගේ පිටට තෙත් සහ උණුසුම් යමක් වැටුන බව දැනුනද ඇය නොසෙල්වී සිටියාය. අවසානයේදී, සටන නතර වූ අතර ඇයට තම උරහිසට ඉහළින් බැලීමට අවස්ථාවක් ලැබුණි.
ඇයගේ පිටුපස ලේ වැගිරෙන මිනිසුන් දෙදෙනෙකු වැටී සිටිනු දුටුවිට ඇය කම්පා වී හඬන්නට පටන් ගත්තාය. තබතා ඉතා සෙමෙන් ස්ක‍්‍රැපී තම දෑතින් ගෙන දණගසා, සිමින් පසුපසට යන්නට පටන් ගත්තාය. කූගර් සහ ජගුවර් ගියේ කොහාටද? ඔවුන් මේ මිනිසුන් දෙදෙනාට පහර දී පලා ගියාද? පිරිමින් ඇඳුම් ඇඳ නොසිටියේ ඇයි?
නතානියෙල් හදිසියේම තම දෑස් විවර කර ඉතා තියුණු දත් ඇය වෙත විලිස්සුවේය.
තබතා බයින් පසුපසට ඇලවී ගිය නමුත් ඇයගේ දෙපා වාරු කරගැනීමට සමත්වූවාය. මිනිසාගේ කෑගැසීම කූගර් වරයෙකුගේ හඬට සමානවූ අතර බියවූ ස්ක‍්‍රැපී ටැබීගේ දෑතින් පිටතට පැනගත්තේය. ඔහු බියෙන් කෑගසමින් යලි වනාන්තරයට පලා ගියේය.
මලාකීගේ ශරීරය ගැහෙමින් තිබූ අතර ඔහුගේ පපුවෙන් ලේ ගලා ගියේය. ඔහු කට ඇර කුඩා දැරිය දෙස බලා එක් වචනයක් කීවේය.